පාඩම් කරන අය දැනගත යුතු රහස්

ඇතැම් සිසුන් ගොඩාක් මහන්සිවී පන්ති වලට සහභාගී වුවත් නිදිමරාගෙන පාඩම් කළත් විභාග වලින් ලබා ගන්නේ අඩු ප්‍රතිඵල. මේ අතරේ සමහර සිසුන් වැඩිපුර මහන්සි වෙලා පාඩම් නොකළත් ඉතා හොඳින් විභාග සමත් වෙනවා. මේ වෙනසට ප්‍රධාන හේතුව ඔවුන් පාඩම් කිරීමට භාවිතා කරන වැරදි ක්‍රමවේද. පාඩම් කරන නිවැරදි ක්‍රම හොඳින් භාවිතා කරනවා නම් පමණයි ඕනෑම අයෙකුට විභාග වලින් උසස් ප්‍රතිඵල ලබා ගත හැකි වන්නේ.

පාඩම් මතක තබා ගැනීම සඳහා ඔබ භාවිතා කළ යුතු ක්‍රමවේද 07 ක් පහත දක්වා තිබෙනවා.

  1. පාඩම් කිරීමේ පටපිටාව.

ඔබ පාඩම් කරන දේ හොඳින් මතකයේ තැන්පත් වීමට නම් ඔබ පාඩම් කරන වටපිටාව හොඳින් සකසා ගත යුතුයි. මේ සඳහා රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණ වලින් බාධා ඇති නොවන සාමකාමී නිරවුල් පරිසරයක් සහිත ස්ථානයක් ඔබ තෝරා ගන්න. ඔබ පාඩම් කරන ස්ථානය ඒ සඳහා පමණක්ම වෙන් කරන්න. මේසය මත පාඩම් කිරීම හා සම්බන්ධ නොවන කිසිම දෙයක් තබන්න එපා. අදික උෂ්ණත්වය අවම කිරීමට හොඳින් ජනෙල් විවෘත කරන්න. එසේත් නැතිනම් විදුලි පංකාවක් භාවිතා කරන්න. මදුරුවන් වැනි සතුන්ගෙන් බාධා වීම වලක්වා ගැනීමත් ඉතා වැදගත්. ඔබ පාඩම් කරන විට සිදුවන බාධා අවම වීමට ඔබ පාඩම් කරන බව අනිත් අයට හැඟවීමට කිසියම් සංඥාවක් ලබා දෙන්න. කාමරයේ දොරේ ඔබ පාඩම් කරන බව හැඟවීමට පුවරුවක් එල්ලා තැබීමත් මේ සඳහා හොඳ උපක්‍රමයක්.

පාඩම් කරනවා කියන්නේ ඔබ කියවන දෑ ඔබේ මනස තුලට හොඳින් කා වද්දවා ගැනීම. ඒවා ඔබ නැවත ස්මරණය කරන ඕනෑම අවස්ථාවක පහසුවෙන් ස්මරණය කර හැකි ආකාරයට පිළිවෙලට ගබඩා විය යුතුයි. ඒ නිසා කුමන දේකින් වුවත් ඔබේ අවධානයට බාධා වෙන්න තියන්න එපා. විශේෂයෙන්ම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න. Phone එක Silent දාලා තිබුණත් ඔබට විටින් විට Phone එක දිහා බලන්න හිතෙන නිසා Off කරලා තියන එකම තමා ඇඟට ගුණ.

  1. වතුර බෝතලයක් මේසය මත තබා ගන්න.

පාඩම් කරන විට ඔබේ මොළය ඉතාමත් හොඳින් ක්‍රියාශ්‍රීලී වෙනවා. ඔබේ මොළය ඔබගේ හිස් කබල තුළ තරලයක ගිලී පවතින ඉන්ද්‍රියක්. මොළය ඉතාමත් හොඳින් සක්‍රීයව පවත්වාගෙන යාමට එයට නිසි පරිදි ජලය සහ ඔක්සිජන් ලබා දීම ඉතා වැදගත්. මේ නිසා පාඩම් කරන විට විනාඩි 15 කට සැරයක් වත් වතුර උගුරක් බොන්න පුරුදු වන්න. එය ඔබට කෙටි විවේකයක් ලබා දෙනවා පමණක් නොවෙයි ඔබේ ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත් උපකාරී වෙනවා. නිතර වතුර බොන්න පිටතට යන්න පුරුදු වුනොත් එය ඔබේ අවධානයට බාධාවක්. මේ නිසා වතුර බෝතලේ අතේ දුරින් තියා ගන්න. මොළයට හොඳින් ඔක්සිජන් ලබා ගැනීමට කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබීමත් ඉතා වැදගත්.

  1. එක දිගට පාඩම් නොකර වරින් වර විවේක ගැනීම.

අපි කාට වුනත් එක දිගට කිසියම් දෙයකට අවධානය යොමු කළ හැකි වන්නේ විනාඩි 30 ක් හෝ 40 ක් පමණයි. මේ නිසා විනාඩි 30 කට වරක් විනාඩි 5ක් හෝ 10 ක කෙටි විවේකයක් ලබා ගන්න. එම විවේකය තුල ඔබ කැමති සරළ ගීතයක් රස විඳීම, එළිමහනේ ඇවිදීම වැනි ඔබේ මනස සැහැල්ලු කරන ක්‍රියාවක යෙදෙන්න. ඔබේ දෑස් සහ මනස තව තවත් විඩාබර කරන රූපවාහිනී නැරඹීම, පරිගණකය හෝ Facebook භාවිතය කුමන හේතුවක් නිසාවත් සිදු කරන්න එපා.

පැය කිහිපයකට වරක් විනාඩි 15ක පොඩි නින්දක් (Nap) එකක් දාන එකත් ඔබේ මනස ප්‍රබෝධමත් කරවන හොඳ උත්ප්‍රේරකයක්. හැබැයි පොඩි Nap එක දිගු නින්දක් නොවීමට වග බලා ගන්න. මේ සඳහා හොඳම ක්‍රමය තමයි මේසෙට ඔළුව ගහගෙනම නින්දක් දාන එක. ඔබව අවදි කිරීමේ කාර්යය වෙන අයෙකුට බාර දෙන්න.

  1. ඔබගේ කැපවීමට ඔබම ත්යාග ලබා දෙන්න.

සෑම කෙනෙක් තුළම ඔවුන් සතු විනෝදාංශයක් තිබෙනවා. පාඩම් කරන වකවානුවේදී වුනත් එම විනෝදාංශ වලින් බැහැර වීමට තරමක් අපහසුයි. පාඩම් කරන කාල සීමාවේදී විනෝදාංශවල නිරත වීමේ කිසිඳු වරදක් නැහැ. වරද තියෙන්නේ විනෝදාංශවලට ඇබ්බැහි වීමයි. ඔබට පුළුවන් ඔබගේ විනෝදාංශයම ඔබට පාඩම් කිරීම සඳහා හොඳ උත්ප්‍රේරකයක් බවට පරිවර්ථනය කරගන්න.

සෑම දිනකම රාත්‍රියේදී හෙට දවසේ කරන පාඩම් ගැන සැලැස්මක් හදන්න. එක් එක් විෂය කොටස් පාඩම් කිරීම සඳහා වේලාවල් වෙන්කරන්න. ඉන් පසු ඔබ ඔබේම කාල සටහන නිසි අයුරින් අනුගමනය කරනවා වෙනුවෙන් ඔබ ඔබට ත්‍යාග ලබා දෙන්න. එම ත්‍යාග පහත පරිදි විය හැකියි.

ගණිතය විෂය හදාරන සිසුවෙක් මෙයට උදාහරණ ලෙස ගෙන ඇත.

ඔබේ කැපකිරීම ඒ සඳහා පිරිනැමෙන ත්‍යාගය
උදෑසන 5 ට අවදි වීම. ඔබ කැමතිම ටෙලි නාට්‍යයක් රාත්‍රියේ නැරඹීම. (එකක් පමණි.)
2014 වසරේ ගණිතය විභාග ප්‍රශ්න පත්‍රයේ ගණන් සෑදීම. විනාඩි 30 කට නිවසින් බැහැරව ගොස් මිතුරන් හමුවීම.
භෞතික විද්‍යාව “තාපය ” කොටස නැවත පුනරීක්ෂණය කිරීම සහ කෙටි සටහන් සෑදීම. විනාඩි 10 Facebook හෝ අන්තර්ජාල භාවිතය.
රසායන විද්‍යාව කාබනික පරිවර්ථන 25 ක් සෑදීම. ඔබ කැමති Video ක්‍රීඩාවක් විනාඩි 15ක් ක්‍රීඩා කිරීම.
රාත්‍රී නින්දට පෙර ගණිතය උපකාරක පන්තියේ අභ්‍යාස අවසන් කිරීම. ඔබ කැමති නව කතාවක පිටු කිහිපයක් කියවීම.

 

ඔබ පෙර දිනයේ රාත්‍රියේ සැලසුම් කරගත් පාඩම් වැඩ එකින් එක සම්පූර්ණ කළ පසු ඉහත ත්‍යාගයන් ඔබ ඔබට ලබා දෙන විට ඔබ තුළ පාඩම් කිරීම අපූරු විනෝදයක් දෙන තරඟයක් වෙනවා. එම විෂය පාඩම් කිරීමට ඔබ වෙන් කරන කාලය වෙනුවෙන් ඔබට ලැබෙන ත්‍යාගය ගැන සිතන විට ඔබට පාඩම් කිරීම සඳහා අමුතු ජවයක් ලැබෙනවා.

මෙ‍සේ ත්‍යාග ලබා දිය යුත්තේ පැය 2ක් හෝ 3ක් වැයවන කොටසක් වෙනුවෙන් පමණයි. දිනකට මෙවැනි ත්‍යාග ඔබ ලබා ගත හැක්කේ උපරිම 2ක් හෝ 3ක්.

  1. අවබෝධයෙන් සවිස්තරාත්මකව පාඩම් කරන්න.

ඇතැම් අය ඉන්නවා පොත් ගුල්ලො වගේ දවසම පාඩම් කරනවා. හැබැයි විභාග වලින් සමත් වෙන්න ඔවුන්ට අපහසුයි. මීට හේතුව ඔවුන් අවබෝධයෙන් තොරව කට පාඩම් කිරීමට උත්සාහ දැරීමයි.

අපිට කවදාවත් කට පාඩම් කරලා පාඩම් මතක තියාගන්න බැහැ. මොකද විෂය පථය විශාල වන තරමට අපි කට පාඩම් කරන ඒවා වේගයෙන් අමතක වෙනවා. ඔබ සිදු කළ යුත්තේ පාඩම් කළ යුතු විෂය කරුණු හොඳින් කියවා මතක තබා ගත යුත්තේ කුමන කොටසක්ද යන්න හොඳින් අවබෝධ කර ගැනීමයි. ඒ සඳහා ඔබ අද පාඩම් කරන්නේ කුමන් කාරණයක් ගැනද එම කාරණයේ ප්‍රධාන කොටස් මොනවාද? යන ආදී විෂය අනතර්ගතය ගැන හොඳින් අධ්‍යනය කරන්න. කිසිඳු විෂයක් මුල සිට අගට පාඩම් කරන්න යන්න එපා. විෂය ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා නම් ඔබට අවශ්‍ය ආකාරයෙන් පාඩම් කරන්න හැකි වන්නේ.

  1. හොඳ ස්වයං විනයක් පවත්වාගෙන යාම.

විභාගයක් ලඟා වන විට අපි හැමෝම හිතනවා මේ සැරේ නම් හොඳට පාඩම් කරනවා කියලා. එහෙමත් නැතිනම් රාත්‍රියේ නින්දට යන්නේ හෙටනම් හොඳටම පාඩම් කරනවා කියලා. නමුත් බොහෝ විට ඊට පසු දිනයේ ඔබ නින්දට යන්නේ හරියට පාඩම් කරන්න බැරි වුණා, දවස නාස්ති වුණා කියලා පසුතැවිල්ලෙන්.

මෙයට ප්‍රධාන හේතුව තමයි ඔබ තුළ ස්වයං විනයක් නැති කම. ඔබ අද රාත්‍රියේ සැලසුම් කරන හෙට දිනයේ වැඩ ඒ ආකාරයෙන්ම සිදු කිරීමට නම් ඔබ තුළ හොඳ විනයක් තිබිය යුතුයි. උදෑසන 5.00 ට Alarm එක තබනවානම් අනිවාර්යෙන්ම Alarm එකට අවදි වන්න ඕන. Alarm එක Off කරලා තව විනාඩි 5ක් තියලා ආපසු නිදා ගන්නවා නම් හොඳට තේරුම් ගන්න ඔබට කවදාවත් බැහැ සාර්ථක වෙන්න. උදෑසන Alarm නාදයට එක වර අවදි වීම ඔබේ ස්වයං විනයේ මූලිකම ලක්ෂණයයි.

ඔබ තුළ හොඳ ස්වයං විනයක් ගොඩ නගා ගැනීම සඳහා ඔබ ඔබම පාලනය කරන විනිශ්චය කාරයෙක් ලෙස හැසිරෙන්න. උදෑසන අවදි වූ විට නැවත නිදා ගන්න හිතෙනවා නම් ඔබ ඔබටම සැර කරන්න. ඔබ තුළ සිටින කම්මැලියාට වහාම විධාන කරන්න අවදි වී ධෛර්යවන්ත මිනිසෙකු ලෙස දවස ආරම්භ කරන ලෙස. බඩ පිරෙනකම් කෑවොත් වැඩිපුර නිදිමත එන නිසා ආහාර ගැනීමේදී වුනත් ඔබ ඔබටම සීමා පනවා ගන්න.

ඔබ රූපවාහිනිය නැරඹීමට වෙන් කර ඇත්තේ මිනිත්තු 30 ක් පමණක් නම් එය කුමන හේතුවක් නිසාවත් මිනිත්තු 35ක් වෙන්න බැහැ. Facebook හෝ අන්තර්ජාල භාවිතයට වෙන් කර හැක්කේ විනාඩි 10 යි. එය විනාඩි 11 ක් නොවෙයි. අන්තර්ජාලය භාවිතා කරන විට විනාඩි 10කින් නාද වීමට Alarm එකක් තියන්න. Alarm එක ලැබුණු විගස වහාම පරිගණකය ක්‍රියා විරහිත කරන්න. ඔබ දවසට රස විඳින්නේ ගීත 3ක් නම් ඒ හරියටම ගීත 3යි.

ඔබේ විනෝදාංශ වලට වෙන් කරන වේලාව විනාඩියක් වත් වෙනස් කරන්න ඔබට අයිතියක් නැහැ. ඔබ පාඩම් කරන වේලාව විනාඩියක්වත් අඩු කරන්න ඔබට අයිතියක් නැහැ. ඔබට ඔබ විසින්ම ස්වයං විනයක් පවත්වාගෙන යාමට අපහසුනම් ඔබව පාලනය කිරීම ඔබගේ පවුලේ සාමාජිකයෙකුට බාර දෙන්න. ඔහුගේ විධාන වලට කීකරු වීමෙන් ඔබට පුළුවන් ඔබ තුළම ස්වයං විනයක් ගොඩ නගා ගන්න.

  1. පසුගිය ප්රශ්න පත් හොඳින් පරිශීලනය කරන්න.

ගොඩක් අය හිතන් ඉන්නවා පසු ගිය ප්‍රශ්න පත්‍ර හෙවත් Pass Papers කරන්න ඕන ඔක්කොම පාඩම් කරලා ඉවර වුනාට පස්සෙ කියලා. මේ වැරදි මතයක්. විෂය පාඩම් කරන්න කලින් ඔබ පළමුවෙන්ම කළ යුත්තේ එම විෂයට අදාල Pass Papers හොඳින් කියවා විභාගය විසින් අදාල විෂයන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමන කොටස් හා සම්බන්ධ දැනීමක් ද යන්න පළමුව වටහා ගැනීමයි. ඔබ එම ප්‍රශ්න වලට පිළිතුරු දැන සිටීම මෙහිදී වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ විභාගයේදී විෂයට අදාලව ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න මොනවාද යන්න පිළිඹඳව දළ වැටහීමක් ලබා ගෙන එම කරුණු සොයමින් ඔබගේ පාඩම් කිරීමේ ක්‍රියාවලිය සකස් කිරීමයි. මෙසේ පාඩම් කරන විට ඔබ මුලින් කිවූ එම ප්‍රශ්න වලට පිළිතුරු ඔබට හමු වෙනවා. එවිට ඔබට තේරෙනවා ඔබ ක්‍රමයෙන් විෂය තුළට ගමන් කරන බව.

X

Pin It on Pinterest

X