විශ්වය සෑදුනේ කෙසේද? – Big Bang Theory

විශ්වය සෑදුනේ කෙසේද යන්න අදටත් විවාදාත්මක දෙයක්. විවිධ ආගම්වල මේ පිළිබඳ විවිධ මත පළ කර තිබෙනවා. විද්‍යාත්මකව ගත්තද මේ පිළිබඳව පළවී ඇත්තේ මත පමණයි. මහා පිපුරුම හෙවත් Big Bang Theory යන්න මෙම මත අතුරින් වර්තමානයේ වඩාත්ම තාර්කිකව පිළිගැනෙන මතයයි.

එඩ්වින් හබල් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ක්‍රි.ව 1929 දී පමණ දුරේක්ෂ ආධාරයෙන් තාරකා නිරීක්ෂණයේදී අපූරු දෙයක් සොයා ගත්තා. එනම් විශ්වයේ ඈත ඇති තාරකා සහ මන්දාකිණි සියල්ලම වාගේ ඉතාමත් ඉහළ වේගයකින් එකිනෙකාගෙන් ඈත්වී යන බවයි. මේ අනුව තහවුරු වුනේ අප මේ සිටින විශ්වය ඉතාමත් වේගයෙන් ප්‍රසාරණය වන ඉවයි. මීට පසුව විද්‍යාඥයින් විසින් එක් එක් තාරාකාවන් සහ මන්දාකිණි වෙන වෙනම අධ්‍යනය කිරීමේදී ඔවුන් සොයා ගත් කාරණයක් වූයේ විශ්වය ප්‍රසාරණය වන්නේ සෑම වස්තුවක්ම එකිනෙකාගෙන් ඉවතට ඇදී යන පරිදි අපූර්ව ආකාරයකටය. මේක හරියටම බෝම්බයක් පුපුරනවා වාගේ සංසිද්ධියක් එහිදී සිදුවන්නේ සෑම අංශුවක්ම එකිනෙකාගෙන් හැකිතාක්ව ඈත්ව ගමන් කිරීමයි.

තාරකා දහස් ගණනක් ඒවා ප්‍රසාරණය වන ආකාරය නිරීක්ෂණය කර දත්ත පරිගණක ගත කරනු ලැබුවා. ඉන් පසු පරිගණකය ආධාරයෙන් විශ්වය ප්‍රසාරණය වන ආකාරය ගොඩනැගුවා. යම් කිසි වස්තුවක් ඉදිරියට යන ආකාරය ඔබ දනී නම් ඒ ඔස්සේ අපට එම වස්තුව මීට පෙර ගමන් කළ ආකාරයත් පරිගණක ආශ්‍රයෙන් සොයා බැලිය හැකියි. මෙය උදාහරණයක් ලෙස පැවසුවහොත් ඔබ රූපවාහිනියේ නරඹන චිත්‍රපටියක් ආපස්සට ගමන් කරවා (Rewind) බැලීමට සමානයි. මෙසේ විශ්වය ප්‍රසාරණය වන ආකාරය ආපස්සට ගමන් කරවා බැලූ විට දුටු දෙයින් විද්‍යාඥයින් මවිතයට පත් වූණා. මීට හේතුව වුනේ සෑම අභ්‍යවකාශ වස්තුවක්ම ගමන් කරන ආකාරය පසු පසට ගමන් කරවා බලන විට ඒවා ක්‍රමයෙන් එකිනෙකා වෙත ලංවීමයි. ඉතාමත් පසුපසට මෙම ගමන් මාර්ගය අධ්‍යනය කළ විට සෑම අභ්‍යවකාශ වස්තුවක්ම ප්‍රසාරණය වීම ආරම්භවී තිබුනේ එක ලක්ෂයකිනි. එනම් විශ්වය ආරම්භවී තිබෙන්නේද එක ලක්ෂයකිනි. ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩා මෙම ලක්ෂය ආරම්භක මොහොතේ තිබූ විශ්වයයි. අප සිටින පෘතුවිය ග්‍රහ ලෝක, තාරකා ඇතුළු සියල්ලක්ම විශ්වය ආරම්භ වූ මෙහොතේ මෙම ඉතා කුඩා ලක්ෂය තුළ ගැබ් වී තිබිය යුතුයි. මීට වර්ෂ බිලියන 14 කට පමණ ඉහත දී මෙම ලක්ෂයේ සිදු වූ මහා පිපුරුමකින් අප මේ සිටින විශ්වයේ සියළුම පදාර්ථ අවකාශයට මුදා හැරී තිබුණා විය යුතුයි. සැබවින්ම කියනවානම් අප අද අත්දකින කාලය සහ අවකාශය යන සියළුම දෑ නිර්මාණය වූයේද මෙලෙස විශ්වය මහා පිපුරුමකින් ආරම්භ වූ මොහොතේ සිට විශ්වය ප්‍රසාරණය වූ ආකාරයටයි.

මහා පිපිරුම සිදුවී විශ්වය බිහිවූ මුල් අවස්ථාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ට්‍රිලියන ගණනක් අධික ඝනත්වයකින් යුතු පදාර්ථ ක්‍රමයෙන් ඈත් වී ඒවායේ ඝනත්වය ක්‍රමයෙන් අඩුවී සිසිල් වීමට ලක්වුණි. වසර බිලියන ගණනක් ගතවත්ම ගුරුත්වාකාර්ෂණ බලය හමුවේ අංශු එකිනෙකා වටා ආකාර්ෂණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද අප දකින තාරකා, ග්‍රහලෝක සහ ඔබත් මමත් සිටින මේ පෘතුවිය බිහිවූ බවට විශ්වාස කෙරෙනවා. එසේ අළුත් වස්තූන් බිහි වුනත් සෑම වස්තුවක්ම නොකඩවා එකිනෙකාගෙන් ඈතට ප්‍රසාරණය වෙමින් පවතිනවා.

මෙසේ බිහිවූ විශ්වයට අවසානයේ කුමක් සිදුවේවිද?

මේ සඳහා මත කිහිපයක් තිබෙනවා. පළමු මතය නම් විශ්වය මෙසේ ප්‍රසාරණය වී තවත් වසර බිලියන ගණනකින් සෑම ග්‍රහලෝකයක්ම එකිනෙකාගෙන් ඉතාමත් ඈත්වී අවසානයේදී ඒවා පරමාණු බවට කැඩී වෙන්වී ප්‍රසාරණය වන බවයි.big crunch theory sinhalapedia

තවත් මතයක් වන්නේ විශ්වය පළමු මතයේ ආකාරයටම සම්පූර්ණයෙන්ම ප්‍රසාරණය වී අවසානයේදී නැවත සංකෝචනය වීම ආරම්භ වන බවයි. මෙලෙස ක්‍රමයෙන් සංකෝචනය වන විශ්වය අවසානයේදී මහා පිපිරුම සිදුවූ අවස්ථාවේදී මෙන් කුඩා ඇල්පෙන්ති හිසකටත් වඩා කුඩා ලක්ෂයකට ගොනුවී කුඩා වනු ඇත. අවසානයේදී තවදුරටත් සංකෝචනය වීමට නොහැකිව තවත් මහා පිපුරුමකින් නව විශ්වයක් බිහිවනු ඇත.

 

මේ ආකාරයට බලන විට විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. මහා පිපිරුමකින් ආරම්භවී උපරිම වශයෙන් ප්‍රසාරණය වී නැවතත් මුල් අවස්ථාවටම සංකෝචනය වී නැවතත් ආපසු වාරයක් නව විශ්වයක් හට ගන්නවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විශ්වයේ ආරම්භය හෝ අවසානය යන ප්‍රශ්නය පිළිතුරු නොසෙවිය යුතු ප්‍රශ්න ලෙස බැහැර කරන්නට ඇත්තේ.

X

Pin It on Pinterest

X