විභාග භීතිකාවට බිය විය යුතු නැහැ

විභාග භීතිකාව, නැත්නම් විභාග ආතතිය කියන්නේ විභාගයක් ආසන්න වන විට විභාගය පිළිබඳව ඇති වන බියයි. මෙය ඇතිවීම නිසා විභාගයට සාර්ථකව පිළිතුරු දී එය ජය ගන්නට හැකියාව අහිමි වෙනවා. මෙයට කළ යුතු වන්නේ විභාගය අත හැර දැමීම නෙවෙයි. විභාගයට ඇති බිය නැති කර ගැනීමයි. සමහර දරුවන් මේ නිසා විභාගයට පෙර, විභාගය ලියා ප්‍රතිඵල ඒමට පෙර, ප්‍රතිඵල ලැබුණු පසු සියදිවි හානි කරගන්නා අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ නිසා මෙම තත්වය පිළිබඳව සොයා බලා ඊට පිළියම් යොදන්න ඕන.

විභාග භීතිකාව ඇති වීමට හේතු
  • හොඳින් විභාග කරුණු අධ්‍යනය කර නොතිබීම නිසා විෂය දැනුම අඩු කම සහ නිසි ලෙස සූදානම් නොවීම.
  • කොතරම් පාඩම් කලත් තව මදි යැයි සිතමින් කනගාටු වෙමින්, මිතුරු මිතුරියන් පාඩම් කර ඇති ප්‍රමාණය ගැන විමසමින්, මට හොඳින් පිළිතුරු ලිවීමට බැරි වේවි යැයි තමා ගැනම අවතක්සේරු කරමින් සිතීම.
  • සමහර දරුවන්ට තමන් කැමති සහ වැඩි දක්ෂකමක් දක්වන විෂයන්ගෙන් ඉගෙනීමට කැමැත්ත තිබුණත්, අකමැත්තෙන්ම දෙමවුපියන් කැමති විෂයන් ඔස්සේ ඉගෙනීමට සිදු වෙනවා. මෙවැනි තත්වයන් යටතේ විභාගයට මුහුණ දෙන දරුවන්ටත් විභාග භීතිකාව ඇති වීමට වැඩි ඉඩක් තියෙනවා.
  • ඇතැම් දරුවන් ගැන දෙමාපියන් සහ ගුරුවරුන් අධිතක්සේරුවෙන් කථා කරමින් “මෙයා ගොඩක් දක්ෂයි. මෙයා හොඳම ප්‍රතිඵල ගන්නවාමයි.” වැනි දේවල් නිතර නිතර පවසන විට, තමාට එය ඉෂ්ඨ කිරීමට හැකිවේවිද එය ඉෂ්ඨ කිරීමට නොහැකි වුනොත් තමා ගැන තිබූ විශ්වාසය බිඳේවිද ඉන් පසු කුමක් වේවිද වැනි දේවල් නිතර නිතර සිතීමෙන්ද දරුවන් තුළ විභාගය පිළිබඳ බිය ඇති කරවිය හැකියි.
  • අනිත් ළමයි සමඟ තමා සන්සන්දනය කිරීමද විභාග භීතිකාවට හේතු වෙයි. සමහර විට අනිත් යහළුවන් ගැන සතමින් තමා තමාම සන්සන්දනය කිරීමට යාමත්, සමහර දෙමාපියන් අනිත් ළමයි සමඟ දරුවා සන්සන්දනය කරමින් බැන වැදීමත් නිසා ඇතිවන ආතතිය නිසාත් විභාග භීතිකාව ඇති වන්නට පුළුවන්.
  • දරුවා යම් විභාගයකට පෙනී සිට ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට හෝ වාර විභාගය වැනි අවස්ථාවක ලකුණු 99% ගත්තද ඒ ගැන අගය නොකර ඉතිරි ලකුණ ගන්න බැරිවුනේ ඇයි දැයි විමසමින් දරුවාට ගහන, බනින දෙමාපියන් සිටී. මේ නිසාත් ඉතා දක්ෂව සිටි දරුවන් ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වැනි වැදගත් කඩඉම් විභාග වලදී අසාර්ථක වන්නේ ලකුණු අඩුවේවි යන භීතිකාව නිසයි.
  • එමෙන්ම විභාගය සමත් නොවුනොත් දැඩි දඬුවම් දෙන බව නිතර නිතර සමහර මවුපියන් දරුවන්ට තදින්ම පැවසීමත් දරුවන්ගේ මනසේ විභාග භීතිකාව ඇති කරවන්නට ලොකු හේතුවක් වෙනවා.
විභාග භීතිකාව ඇති වන්නේ කුමන අවස්ථාවේදීද? ඒ ඇයි?

විභාගයට පෙර මෙන්ම විභාග ප්‍රශ්න පත්‍රය අතට ලැබුණු මොහොතේදීද විවිධ රෝග ලක්ෂණ පෙන්වනවා. මෙයට හේතුව වෙන්නේ, විභාගයට ඇති අකමැත්තක් ඒ පිළිබඳ සතුටක් නොතිබීමත් නිසා. සිතෙහි ඇති වන ව්‍යාකූල බව ශාරීරික ක්‍රියාකාරකම් ලෙස ක්‍රියාත්මක වී මානසික රෝග බවට පත් වීමයි.

විභාග භීතකාව විභාගයට පෙර :keep-calm-no-exam-fear
  • නිතර විවිධ ලෙඩ රෝග ඇති වීම.
  • ක්ලාන්තය.
  • බඩ රිදීම.
  • අත පය පණ නැති වීම.
  • ඇඟ වෙවිලීම.
  • කෑම අරුචිය.
  • අධිකව දාහඩිය දැමීම.
  • විභාගය පිළිබඳ ඇති අකමැත්ත.
  • විෂය කරුණු එපා වීම.
  • පාසල් යාම, උපකාරක පන්ති වලට සහභාගී වීමට ඇති අකමැත්ත.
  • නිතරම තනිව සටීමට උත්සාහ කිරීම.
  • විභාගයටත් පෙර විභාගය අසමත් වීමට හේතු සාදා ගැනීම.

 

විභාගය අවස්ථාවේදී විභාග භීතිකාව :

විභාග භීතිකාව ප්‍රබලවම ඇතිවන්නේ ප්‍රශ්න පත්‍රය අතට ගන්නා මොහොතේදී. එය විවිධ ලක්ෂණ මගින් පෙන්නුම් කළ හැකියි.

  • ඇස් නිලංකාර වීම සහ ක්ලාන්ත වීම.
  • වැසිකිලි යාමට දැඩි අවශ්‍යතාවයක් ඇති වීම හා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන අතර තුර කිහිප වරක් වැසිකිළි යාමට අවශ්‍ය බව දැන්වීම.
  • ඇඟ පණ නැති වීම හා අත පය වෙවිලීම.
  • හොඳින් දන්නා විෂය කරුණු පවා අමතක වීම.
විභාග භීතිකාව නැති කරගන්නේ කෙසේද?

විභාගයට පෙර යම් දරුවෙක් විභාග භීතිකාවේ පූර්ව ලක්ෂණ පෙන්වයි නම් දරුවාට තවදුරටත් බනිමින්, ගහමින් ඒ තත්වය වැඩි නොකර කායික ලෙස රෝග සඳහන් කර වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. කායික ලෙඩ රෝග නොවන්නේ නම් මේ රෝග මානසිකව ඇති වන ඒවා බව තීරණය කළ හැකියි. ඉන් පසු කළ යුත්තේ සුදුසුකම් ලත් මනෝ උපදේශකයකු වෙත යොමු කිරීමයි. උපදේශණ ක්‍රම මගින් මනසේ ඇති වන ව්‍යාකූල බව නැති කර දැමීමට හැකි වෙනවා. ඉක්මනින් සුවයක් ලබාගන්නට දරුවා මෝහන ප්‍රතිකාරයට යොමු කරන්නට පුළුවන් මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ දරුවා සුදුසුකම්  ලත් මනෝ චිකිත්සකවරයෙක් වෙත යොමු කිරීමයි. එයින් නවීන ව්‍යායාම හා දියුණු ක්‍රම ශිල්ප වලින් දරුවාගේ යටි සිතේ ඇති අසාමාන්‍ය බිය ඉවත් කර ධනාත්මක අදහස් මනසේ තැන්පත් කළ හැකි වෙනවා. මෙයින් දරුවාට නිවැරදි මග පෙන්වීමක්, දෛර්යක් ලැබෙනවා.

විභාග භීතිකාව ඇති නොවන්නට
  • විභාගයට පෙර තමාගේ දක්ෂතාවය ගැන විශ්වාසයකින් සිටින්න. නමුත් ඕනෑවට වඩා තමන් ගැනම විශ්වාස කරමින් “මට පුළුවන්. පාඩම් කරන්න ඕනෑ නෑ.” කියමින් පාඩම් නොකර සිට විභාගයේදී ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා එදිනෙදා පාඩම් වැඩ වල නිරත වන්න.
  • විභාගයට පහසුවෙන් පිළිතුරු සපයා ජයග්‍රහණය කළ හැකි බව නිතරම සිතන්න. විශ්වාස කරන්න. එමෙන්ම නිසි ලෙස කාලය බෙදාගෙන සෑම විෂයක් කෙරෙහිම අවධානය යොමු කරන්න.
  • එක දිගටම පාඩම් කරන්න එපා. එක දිගට පාඩම් කිරීමෙන් ඇතිවන කායික හා මානසික වෙහෙස නැති වෙන්නට පාඩම් කරන අතරතුර කෙටි විවේකයක් ගන්න. ඒ වෙලාව තුළ එළිමහනට යන්න. ගස් වැල්, කුරුල්ලන් ඇති අවට පරිසරය දෙස බලන්න. හොඳින් හුස්ම ගන්න. ඔබ කැමති සංගීතයකට සවන් දෙන්න. ශරීරය දැඩි ලෙස මහන්සි නොවන ක්‍රීඩාවක යෙදෙන්න. ගෙදර වැඩට පොඩි උදව්වක් කරන්න.
  • රූපවාහිනියේ ටෙලි නාට්‍ය, වැඩ සටහන් දිගින් දිගිටම බැලීම, අන්තර්ජාලයේ සැරිසැරීම, Face book වෙත පිවිසීම වැනි දෑ නොකරන්න. ඔබට නොදැනීම, ඔබට පාඩම් කිරීමට ඇති වටිනා කාලය ඒවාට වැයවනවා.
  • මිතුරු මිතුරියන් සමඟ පාඩම් කළ ප්‍රමාණය ගැන කතා කරන්න එපා. සමහර මිතුරු මිතුරියන් ඔබව අදෛර්යමත් කරන්න පුළුවන්. “අනේ ඔයා එච්චරද පාඩම් කළේ, මමනම් ඔක්කොම පාඩම් කරලා ඉවරයි” යනුවෙන් පවසන විට එයින් ඔබ, ඔබ ගැනම අවතක්සේරුවෙන් හිතන්න පුළුවන්.
  • ජංගම දුරකථනය පාඩම් කරන වේලාවට විසන්ධි කර තබන්න. පාඩම් කරන අතරතුර ජංගම දුරකථනයට එන ඇමතුම්, කෙටි පණිවුඩ ඔබේ අවධානය වෙනස් කරන්න පුළුවන්. ජංගම දුරකථන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම වඩාත් හොඳියි.
  • පසුගිය ප්‍රශ්න පත්‍ර වලට, ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලට හැකි තාක් පිළිතුරු ලියන්න. එකම ප්‍රශ්න පත්‍රය වුවද විටින් විට කිහිප වතාවක් කරන්න. ප්‍රශ්න පත්‍රයේ ඇති කාල සීමාව තුළ එය අවසන් කර පිළිතුරු ලිවීමේ වේගය සකස් කර ගන්න.
  • ගෙදර ගැටළු, ප්‍රේම සබඳතා නිසා ඇති වන ගැටළු, මුදල් අග හිඟකම් නිසා ඇතිවන ගැටළු, විසඳ ගන්නට උත්සාහ කරන්න. ඒ ගැටළු තුළ හිරවී සිටිමින් ඒ ගැටළු වලට ඔබේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා. තමන් විභාගයට සූදානම් වන බව වටහා දෙමින් ගෙදර යහපත් වාතාවරණයක් ඇති කර ගන්න. අනවශ්‍ය බැඳීම් ඇති කර ගන්න එපා. ප්‍රශ්න ගැන සිතමින් වටිනා කාලය නාස්ති කර ගැනීම ඔබ ඔබටම කරන අපරාධයක්. මොනදේ නිසාවත් ඔබේ පාඩම් වැඩ අතපසු කර ගන්න එක ඔබට විශාල පාඩුවකි.
  • දෙමාපියන් දරුවන්ට අනිසි ලෙස බලපෑම් කරමින් ඔවුන්ට ළඟා විය නොහැකි ඉල්ක්ක, අරමුණු වෙත ඔවුන් යොමු කිරීමෙන් වැළකීමත් දෙමාපියන්ගේ අරමුණු බලාපොරොත්තු දරුවාගෙන් ඉෂ්ඨ කරවා ගැනීමට උත්සාහ නොකිරීමත් ඉතා වැදගත්.
  • දරුවාගේ දක්ෂතා, කුසලතා වටහාගෙන ඔවුන්ට ඒ ඔස්සේ ඉදිරියට යාමට උදව් කරමින් නිවසේ නිරවුල් වටපිටාවක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. ගණිත අංශයට දක්ෂ දරුවෙක් වෛද්‍යවරයෙක් කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ අවශ්‍යතාව ඔබේ අවශ්‍යතාව ඉටු නොවීම මෙන්ම දරුවාගේ දක්ෂතා ඔස්සේ ලැබීමට තිබූ ජයග්‍රහණයත් අහිමි වෙනවා.
විභාගයට පෙර දින රාත්‍රිය සහ විභාගය දින උදෑසන
  • විභාගයට පෙර දින රාත්‍රියේ පසු දිනට අවශ්‍ය සියළු දේවල් සූදානම් කරල තියන්න. එතකොට විභාගය දිනයේ උදෑසන අනවශ්‍ය කලබලයකින් හිත අවුල් කර ගන්න වෙන්නෙ නැහැ. හිත නිරවුල් නැත්නම් අනවශ්‍ය බයක් හිතට එනවා.
  • විභාගයට පෙර දින රාත්‍රියේ නිදි වර්ජිතව පාඩම් කරන්න එපා. ඔබ පාඩම් කිරීමට ඇති ප්‍රමාණය කොතෙක් වුනත් විභාගයට පෙර දින රාත්‍රියේ වේලාවට නින්දට යන්න. ඒත් රාත්‍රියේ හොඳින් නින්ද ගියේ නැත්නම් ඒ නිසා හොඳින් මුහුණ දෙන්න බැරිවෙයි කියලා අනවශ්‍ය භීතිකාවක් ඇති කරගන්න ඕන නැහැ. දවසක් හරියට නින්ද ගියේ නැතත් මොළයේ කාර්යක්ෂමතාවට එයින් දැඩි බලපෑමක් වෙන්නේ නැහැ.
  • විභාගය දින උදෑසනින්ම අවදි වන්න. ඇඟට බර නැති සරල, ඇඟට අපහසුතා ඇති නොවේ යැයි සිතෙන ආහාරයක් අනුභව කරන්න. එවිට ඔබට ආහාර ආජීර්ණ වේවිද, කිරිබත් වැනි ආහාර නිසා නිදිමත ඇති වේවිද වැනි බය ඇතිවන්නේ නැහැ.
  • ඔබ අදහන විශ්වාස කරන ආගමට අදාළ වතාවත් වල කෙටි වේලාවක් හෝ යෙදෙන්න. අඩු තරමින් විනාඩියක්වත් ඒ වෙනුවෙන් වැය කරන්න. එයින් ඔබේ මනස සැහැල්ලු වෙනවා.
  • නිවසේ සිට විභාග ශාලාවට ඔබ ගමන් කරන ආකාරය අනුව ගත වන කාලයත්, විය හැකි මාර්ග අවහිරතා අනුමාන කර අවම වශයෙන් විනාඩි 30 කටවත් පෙර විභාග ශාලාවට යා හැකි පරිදි නිවසින් පිටත්වන්න.
  • විභාගය පටන් ගන්නා තෙක් අන් අය සමඟ කතා බහ කිරීම හැකි තාක් අවම කරන්න.
විභාගයට පිළිතුරු ලියන අවස්ථාවේදී කළ නොකළ යුතු දේවල්.
  • පිළිතුරු ලිවීමට අපහසු යැයි සිතෙන ප්‍රශ්න වලට වැඩි කාලයක් යොදවන්න එපා. ඊට පෙර පහසු ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඉන් පසු අපහසු ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට යලිත් උත්සාහ කරන්න.
  • තමා උත්තර ලියන අතර තුර අනිත් අය උදව් ඉල්ලුවද ඒ පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න එපා. විභාගය අතරතුර අනිත් අයට උදව් කිරීමෙන් වගේම උදව් ගැනීමෙන් තරඟ විභාගයකදී ඔබ විභාග තහනමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ උත්තර ලියමින් සිටියදී වෙනත් අයට උදව් කිරීමෙන් ඔබේ මනසේ ඒකාග්‍රතාවයත් බිඳ වැටෙනවා. එවිට ඔබ හොඳින් දන්නා පිළිතුරුත් අමතක වෙන්නට පුළුවන්.
  • අනිත් අය පිළිතුරු ලියන දෙස බලන් ඉන්න එපා. එය ඔබේ කාලය කා දමන වැඩක් නැති දෙයක්. එය ඔබට පිළිතුරු ලිවීමට තිබෙන සීමිත කාලය අපතේ යැවීමක්.
  • නිවැරදිව සෑම පිටුවකම විභාග අංකය ලියන්න. නිවැරදිව ප්‍රශ්න අංක ලියන්න.
  • විභාගයට පිළිතුරු ලියා අවසන් වූ පසු අනිත් අය සමඟ ඒ පිළිබඳ කතා කරන්න එපා. මොකද ඊට පස්සේ ඔබට ලියන්න තියෙන ප්‍රශ්න පත්‍ර වලට අවශ්‍ය කරන මානසිකත්වය ඔබට අහිමි වෙන්නට පුළුවන්. හොඳම දේ තමයි අනිත් අය සමඟ කතා නොකර ඊලඟ විෂයට අදාල විෂය කරුණු මතක් කර ගැනීම.
X

Pin It on Pinterest

X