රැකියාවෙන් ඉහළට යන්න රහස් 10ක්

ඔබේ දක්ෂතා විශ්වාස කරන්න.

ඔබට භාරදෙන වගකීම සාර්ථකව ඉටු කිරීමට නම් ඒ සඳහා ඔබේ දක්ෂතා ප්‍රමාණවත් බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය යුතුයි. ඔබට ඔබ පිළිඹඳ විශ්වාසයක් නැතිව ඔබ කරන කාර්ය කුමක් වුවත් එහි නියම ප්‍රතිඵල පෙන්වන්න ඔබට බැහැ. ඕනෑම රැකියාවක් කිරීමේදී ඔබට ඔබ පිළිඹඳ ඇති විශ්වාසය වැදගත්.

අවස්ථා ලැබෙනකම් බලා නොසිට අවස්ථා පසුපස හඹා යන්න.

ඇතැම් අය රැකියාවට ගොස් ඉතාමත් සුළු කාලයක් ඇතුලත හිතාගන්නවත් බැරි විදියට රැකියාවේ ඉහළටම ගමන් කරනවා. මීට හේතුව ඔවුන් උසස්වීම් ලබා ගැනීම සඳහා ලැබෙන සුදුසු අවස්ථාවන් ඉතාමත් හොඳින් භාවිතා කර තිබීමයි.
ඔබ කොතරම් දක්ෂ වුවත්, කැපවීමෙන් වැඩ කරත්, ඔබේ හැකියාවන් ආයතනයේ ප්‍රධානීන්ගේ අවධානයට ලක් නොවී තිබෙන්නට පුළුවන්. ඔබ වැඩිපුර අවධානය යොමු නොකරන කුඩා දෙයක් වුවත් එය ඔබගේ ආයතනයේ ප්‍රධානියාගේ විශ්වාසය දිනා ගැනීමට උපකාරී වන සාධකයක් වන්නට පුළුවන්. මේ නිසා රැකියාව කරන සෑම දිනයකදීම ඔබට ලැබිය හැකි සුළු සුළු අවස්ථා පිළිඹඳව හොඳින් අවධානයෙන් සිටින්න. ඔබ අවධානයෙන් නොසිටියහොත්, අයධානයෙන් සිටින වෙනත් කෙනෙක් එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

හෙලා දැකීම සතුටින් වැළඳ ගන්න.

ඔබ හිතන් ඉන්න පුළුවන් කැපිලි කෙටිලි තියෙන්නේ ඔබ රැකියාව කරන ස්ථානයේ විතරයි කියලා. ගොඩාක් අය හිතන් ඉන්නෙ ලෝකයේ ඉන්න නරකම මිනිස්සු ඉන්නේ තමා රැකියාව කරන ස්ථානයේ කියලා. නමුත් තේරුම් ගන්න ලෝකයේ කොහේ ගියත් ඉන්නේ එක වගේ මිනිස්සු. කුමන රැකියාවක වුවත් ඕනම කෙනෙකුට කැපිලි කෙටිලි වලට ලක් වෙන්න වෙනවා. මිනිස්සු ගොඩාක් ඉන්න ඕනම තැනක ස්වභාවය එයයි.
ඔබට කවුරුහරි කැපිල්ලක් දානවනම් ඔවුන් ඒ දේ කරලා බලන්නේ ඔබව මානසිකව වට්ටන්න. ඔබ මානසිකව වැටෙන තරමට ඔවුන්ට පහසුයි ඔබව අභිබවා යන්න. කැපිලි කෙටිලි ගැන කලකිරී රැකියාවෙන් ඉවත් වනවා කියන්නේ ඔබව ඒ තත්වයට පත් කරපු මිනිස්සුන්ට ඔබ ජයග්‍රහණය ලබා දී අවසන්.
මේ නිසා හැමදාම උදේ වැඩට යන ගමන් හොඳට හිතට ගන්න කැපිලි කෙටිලි කියන්නේ රැකියාවේ තියෙන දිනපතා සාමාන්‍ය අංගයක් කියන එක. ඒ දේවල් සත පහකටවත් ගනන් ගන්නේ නැතිව “මගේ ගමන මම යනවා” කියලා හොඳට හිතට ගන්න.

 

ඉගෙනීම කවදාවත් නවත්තන්න එපා.

ඔබට ඔබ කරන රැකියාව ලැබුණේ ඔබට ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් තිබෙන නිසා. නමුත් රැකියාවෙන් තව තවත් ඉහළට යන්න නම් ඔබට වඩ වඩාත් අධ්‍යාපන සුදුසු කම් අවශ්‍ය වෙනවා. අනිත් පසින් ලෝකය වෙනස්වන වේගයත් එක්ක ඔබේ රාජකාරියේ ස්වභාවය සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ නිසා ඔබේ රාජකාරිය හා සම්බන්ධ සෑම දෙයක්ම දිනපතා ඉගෙන ගන්න. ඒ සඳහා රැකියාවේදී ලැබෙන අත්දැකීම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. රැකියාවේ අති සාර්ථක වූ සෑම කෙනෙක් තුළම තිබෙන විශේෂ ගුණාංගයක් තමයි මෙය.

හැමදෙනාටම කරුණාවන්ත වන්න.

ඔබ රැකියාව කරන ස්ථානයේ උස් පහත් භේදයෙන් තොරව හොඳින් කතා කරන්න. හොඳට සලකන්න. හැමෝම කැමතියි අනිත් අය තමන්ට කරුණාවන්තව ගෞරවාන්විතව කතා කරනවානම්. ඔබ මිනිස්සුන්ට කරුණාවන්ත වන විට සහ ගෞරව කරන විට ඒ අයත් ඔබට හිමි නිසි ගෞරවය ලබා දෙනවා. ආයතනය පුරා ඔබේ කීර්ති නාමය මේ ආකාරයෙන් ප්‍රචලිත වීම උසස්වීමක් ලබා ගන්නා විට ඉතාමත් වැදගත් වෙනවා.

ඔබේ හැඟීම් පාලනය කරගන්න.

ඔබ රැකියාව කරන ස්ථානය කියන්නේ ඔබේ ගෙදර නොවෙයි. එය තාවකාලික නිවහනක් පමණයි. මේ නිසා ඔබ රාජකාරී කරන ස්ථානයේ සිදුවන අසාධරණකම් හෝ දුෂ්ඨකම් ගැන හැඟීම් බරව හිතන්න යන්න එපා.
ඔබ හැඟීම් බරව අනුන්ගේ ප්‍රශ්න වලට අත දාන්න ගියොත් අන්තිමට කැපිල යන්නේ ඔබ වෙන්න පුළුවන්. රැකියාව කරන ස්ථානයේ සිටින අනික් පුද්ගලයන් කිසිවෙකුත් එක්ක සීමාව ඉක්මවා ගිය මිත්‍රකම් හදාගන්න එපා. මොකද ලොකු යාළුකම් කැඩිලා ගියාම ඉතුරු වෙන්නේ ලොකු තරහකාරයො දෙන්නෙක්. කුමන හේතුවක් නිසාවත් ආයතනයේ කුමන කල්ලියකටවත් සම්බන්ධ වෙන්න එපා.

කට පරිස්සම් කර ගන්න.

රැකියාව කරන ස්ථානයේ ඔබේ කටින් පිටවන සෑම වචනයක්ම හොඳට හිතලා බලලා පිට කරන්න ඕන. මොකද බිත්ති වලටත් කන් තියෙනවා. රැකියාව කරන ඕනෑම ස්ථානයක පොදු සාධකයක් තමයි ඕපා දූප කේළම් කාරයෝ වැහි වැහැලා කියන එක. ඔබේ කටින් පිටවෙන දේවල් එක දහය වෙලා තමයි ආයතනයේ ප්‍රධානියාගේ කනට යන්නේ. මේ නිසා කල්පනාකාරීව කට පරිස්සම් කරනගෙන ඉන්න. වචනයක් පිටකිරීමට පෙර දෙපාරක් හිතන්න. එක වචනයක් නිසා රැකියාවට විශාල හානියක් සිදු වීමට පුළුවන්.

අවධානමක් ගන්න බය වෙන්න එපා.

ඔබට යම් කිසි රාජකාරියක් භාර දුන් විට ඔබේ ප්‍රධානියා ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඉන් ලබා ගත හැකි උපරිම ප්‍රතිඵලය හැමෝම කරන සාම්ප්‍රධායික රාමුවෙන් වැඩක් කරන්න ගියොත් ඔබට ලබා ගත හැකි වන්නේ සාමාන්‍ය ප්‍රතිඵලයි.
මේ නිසා ඉහළ ප්‍රතිඵල පෙන්වීමට නම් පොඩි අවධානමක් අරගෙන අළුත් විදියකට වැඩ කරන්න ඕන. අවධානමක් ගන්න ගිහින් අත්වැරදීම් සිදු වෙලා සමහර විට බැනුම් අහන්න සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි වැඩේ හරි ගියෝතින් ඒ සඳහා ඔබට ලැබෙන ඇගයීම උසස්වීමක් වෙන්නත් පුළුවන්. අවධානමක් ගන්න එකෙන් කියන්නේ ඕන නැති පණ්ඩිත වැඩ කරලා ජොබ් එක නැති කරගන්න කියන එක නෙමෙයි. ඔබ ගන්න සෑම අවධානමක්ම ගැනීමට පෙර එය වැරදී ගියොත් සිදු විය හැකි ප්‍රතිඵලය පිළිඹඳවත් හොඳින් සිතා බලන්න. ආයතනයට හෝ රැකියාවට හානියක් වන ලොකු අවධානම් ගන්න යන්න එපා. හැබැයි බුද්ධිමත්ව අවධානමක් අරගෙන වෙනසක් කරන්න උත්සාහ කරන එක සාර්ථක වීමේ ලක්ෂණයක්.

ආයතන ප්‍රධානියාගේ විශ්වාසය දිනා ගන්න.

ආයතන ප්‍රධානියා තුළ ඔබ ගැන ඇති විශ්වාසය ඉතාමත් වැදගත්. බොහෝ දෙනා ආයතන ප්‍රධානියාගේ විශ්වාසය ඇති කර ගැනීමට උත්සාහ කරන්නේ හොරෙන් හොරෙන් අනිත් අයගේ කේළම් කියලා. හැබැයි හොඳට මතක තියා ගන්න ලොකු ආයතනයක ප්‍රධානියෙක් වෙන්න කවදාවත් මෝඩයෙක්ට බැහැ. ඒ කියන්නේ ඔවුන් ගොඩාක් බුද්ධිමත් ඔවුන් කරන්නේ කේළම් කාරයෝ හඳුනාගෙන පාවිච්චි කරන එක විතරයි. විශ්වාසය දිනා ගැනීමට ඔහු හා හිතවත් වීමට ඔබ කළ යුත්තේ ඔබ අවන්කවම රැකියාව කරන බව ඔහුට ඒත්තු යන විදියට වැඩ කිරීම පමණයි. රැකියාවට ආදරේ සේවකයන්ට ආයතනයේ ප්‍රධානියෝත් ගොඩාක් ආදරෙයි. මීට අමතරව ආයතනයෙ ප්‍රධානියාගේ පෞද්ගලික කටයුත්තක් වුවත් ඔබට ඉටු කර දෙන්න පුළුවන් නම් ඒ වැඩේ පොඩි දෙයක් වුවත් ඔහු තුළ ඔබව පිළිඹඳ විශ්වාසය වැඩි වේවි.

ඔබේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න.

ඔබ අඳින පළඳින විදිය, ඔබ කතා කරන විදිය, ඔබේ හැසිරීම ඔබ වටා ඉන්න අයගේ අවධානයට ලක් වෙනවා. හැමෝම කැමතියි ලස්සනට ප්‍රසන්නව ඉන්න අය ආශ්‍රය කරන්න. මේ නිසා රැකියාවට එන විට පිරිසිදුව පැමිණීම, ලස්සනට ඇඳ පැළඳ පැමිණීම, ඉතාමත් වැදගත්. ඔබේ ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීම වුවත් මේ සඳහා බලපානවා. හැකි තරම් නිරෝගීව ඉන්න උත්සාහ කරන්න. අළුත් ඇඳුම් ඇඳීම, ඔබට ගැලපෙන සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කිරීම, සරළ රූප ලාවන්‍ය කටයුතු භාවිතා කිරීමත් ඔබ ගැන හොඳ ප්‍රතිරූපයක් අනිත් අය තුළ ඇති කරවීමට උදව් වෙනවා.
හොඳට මතක තියාගන්න ඔබ රැකියාවකට, සම්මුඛ පරීක්ෂණයකට යන දිනයේ සිට සෑම දිනයකම මූලිකව අවධානය යොමු විය යුතු කාරණයක් තමයි ඔබේ පෞර්ෂත්වය. මනා පෞර්ෂත්වයක් පත්වාගෙන යාමට උස – මිටි, කළු – සුදු, කෙට්ටු – මහත, කියා භේදයක් නැහැ. ඔබ කවුරු වුනත් හැකි තරම් පිරිසිදුව, ලස්සනට, මනා පෞර්ෂත්වයක් ඇතිව හොඳ ප්‍රතිරූපයක් සදා ගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. හැබැයි අනවශ්‍ය විදියට විලාසිතා කරන්න ගිහින් විකාරයක් වෙන්න එපා. එය ඔබට අවාසියක් වෙන්නත් පුළුවන්.

X

Pin It on Pinterest

X