බලි කුරුටු

පුංචි පුතෙක් එයාගෙ අතේ තිබුණ යකඩ කෑල්ලකින් ගෙදර මිදුලෙ නතර කරලා තිබුණු එයාලගෙම කාර් එකේ මොනවදෝ කුරුටු ගාමින් හිටියා. මේක දැකපු එයාගේ තාත්තා ලොකු කේන්තියකින් පුතාගෙ පුංචි අතට ගැහුවා. තාත්තගෙ අතේ තිබුණෙ මිටියක් වුනත් තාත්තට ආව කේන්තියට තාත්තට ඒ ගැන මතක් වුනේ නැහැ. මිටියෙන් පහර කාපු පුංචි පුතා කෑගහලා අඬද්දි අම්මයි තාත්තයි පුතා රෝහල් ගත කළා.

Happy-Fathers-Day-BellaNaijaතාත්තා ගහපු පාරෙන් පුතාගෙ අතේ ඇඟිලි හතරකම අස්ථි තැලිලා තිබුණ නිසා ඒ ඇඟිලි හතරම කපලා ඉවත් කරන්න වෙන බවයි වෛද්‍ය නිර්දේශය වුනේ. ශල්‍යකර්මයෙන් පස්සෙ පුංචි පුතා තාත්තා දිහා බලාගෙන ඇහුව්වෙ “තාත්තෙ ඩොක්ට අන්කල් කිව්වා මං ලොකු වුනාට කවදාවත් මගේ ඇඟිලි ලොකු වෙන්නෙ නැතිලු. ඒකට කමක් නෑ. අපේ කාර් එක හදන්න පුළුවන් නේද” කියලයි. පුතාගෙ ඒ වචන වලින් තාත්තට දැනුණ දුක දරාගන්න බැරි තරම්. තාත්තා ලොකු වේදනාවකින් ගෙදර ගිහින් දරුවා කුරුටු ගාපු කාර් එක දිහා බැලුවා. තාත්තගෙ වේදනාව තව තවත් වැඩිවුණා. පුංචි පුතා කාර් එකේ ලියලා තිබුණෙ “I Love You Dad” කියලා. කාර් රථයට වැඩිය වටින දරු පැටියගෙ අතේ ඇඟිලි තාත්තගෙ කේන්තිය නිසා අහිමි වුනේ කාර් රථයෙ වටිනාකම නොදන්න පුංචි දරුවා පොඩි යකඩ කෑල්ලකින් කාර් එක පිටිපස්සෙ තාත්තට ආදරෙයි කියල කුරුටු ගාපු නිසා.

මේක යුරෝපීය රටක සිදුවුණ සත්‍ය සිදුවීමක්. ඔබෙත් පුංචි දරුවො එහෙ මෙහෙ අහුවෙන අහුවෙන තැන කුරුටු ගාලා බලි ඇඳලා අනන්තවත් අම්මා තාත්තා වෙච්ච ඔබෙන් ගුටි කාලා ඇති. බැනුම් අහල ඇති. හැම අම්මා තාත්තගෙම බලාපොරොත්තුව තමන්ගෙ දරුවා දක්ෂ බුද්ධිමත් දරුවෙක් කරන්න. එහෙමනම් ඔබ දරුවන්ට උගන්වන්න පටන් ගන්න ඕන දරුවට අකුරු කියවන දවසෙ ඉඳලා නෙමෙයි. ඊට ගොඩක් කලින්. පර්යේෂකයින් කියන්නේ දරුවෙක් ඉගෙන ගන්න පටන් ගන්නෙ මවු කුසේ ඉද්දීමයි කියලා. මේ වන විට අපේ රටේත් දරුවාට මාස 6 දී සිටම ඉගැන්වීමට රූප කාඩ්පත් සහිත ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා. එතරම් කුඩා කල සිට ඉගැන්වීම ඉතා අත්‍යවශ්‍ය නොවුණත් ඔබේ දරුවාට යාන්තමින් අතැගඟිලි වලින් පාට කූරක් අල්ලා ගත හැකි වයසේ සිටම දරුවාට ලියන්නට ඉඩ දෙන්න. ඒක ඔබේ යුතුකමක් වගකීමක්.

ලියනවා කිව්වට මේ වයසෙ දරුවො කරන්නෙ බලි කුරුටු අඳින එක. එහෙම බලි කුරුටු අඳින එක හැම දරුවෙක්ගෙම මුල් ළමා වියේ එක් සංවර්ධන අවධියක්. ඒ සංවර්ධන අවධිය අනිවාර්යෙන්ම ඔවුන්ට හිමිවිය යුත වෙනවා. දරුවෙකුගෙ බුද්ධි සංවර්ධනයේ 80% ක් ම සිදුවෙන්නෙ මේ මුල් ළමාවියේදී. ඒ නිසා ඔවුන්ගෙ එක් එක් සංවර්ධන අවධි වලට අදාල ක්‍රියාකාරකම් වල නිරත වීමට ඉඩ නොලැබීම දරුවන්ගේ ජීවිතයට ඔබට නොදැනීම ඔබෙන් සිදුවෙන විශාල පාඩුවක්.

බලි කරුටු අවධියේ දී දරුවන් පෑනකින්, පැන්සලකින් හෝ පැස්ටල් වලින් ඔවුන්ට අහුවෙන අහුවෙන තැන හිතෙන හිතෙන දේ අඳිනවා. ඒ අඳින්නෙ සුදුසු තැනකද කියලා අවබෝධයක් ළමා මනසට නැහැ. බිත්ති වල, සෝෆාවෙ, පොළවෙ ටයිල් මත, ලී බඩු වල කොහේ වුනත් පුංචි අතැඟිලි ක්‍රියාත්මක වෙනවා. දරුවෙක් වටිනා භාණ්ඩයක, ගොඩක් වියදම් කරලා සායම් කරපු බිත්තියක කුරුටු ගෑවා කියලා දරුවට ගහන්න බනින්න ඕනද, ඔබට වැඩිපුරම වටින්නෙ බඩු භාණ්ඩ ද නැත්නම් ඔබේ දරුවද, බිත්තියක් ආයෙත් සායම් කරන්න පුළුවන්. ඒත් ඔබෙන් ගුටි කාලා බැනුම් අහලා රිදෙන තැලෙන දරුවගෙ ළමා මනසට වෙන පීඩනයේ අහිතකර බලපෑම ඔබට ඉවත් කරන්නට බැහැ.

මේ විදියට බලි කුරුටු අඳිනකොට දරුවාගෙ අතඟිලි වලත් අත් වලත් සියුම් හා රළු මාංශ පේශීන් ක්‍රියාත්මක වෙනවා. ඒක දරුවාගෙ බුද්ධි වර්ධනයට ලොකු දායකත්වයක් සපයනවා. දරුවා හැමදාම බිත්ති පුරා බලි කුරුටු අඳින්නෙ නැහැ. එක වයස් සීමාවකදි විතරයි එහෙම අඳින්නෙ. ඔබට පුළුවන් ඒ කාලසීමාව ඉවර උනාම ආයෙත් බිත්ති සායම් කරන්න නැත්නම් දරුවා බිත්තියේ අඳින සීමාව ඉතිරි කරලා ඉහළ කොටස සායම් කරන්න. ඒකටත් ඔබ අකමැති නම් දරුවාට බලි කුරුටු අඳින්නට ගෙදර එක ස්ථානයක බිත්තියක කොටසක් වෙන් කර දෙන්න. එම ස්ථානයෙන් පිටත චිත්‍ර ඇන්දොත් දරුවා වඩාත් කැමති දෙයක් දරුවාට ලබා නොදෙන බව පැවසීම වැනි උපක්‍රමයක් යොදාගන්න. චිත්‍ර ඇඳීමට විශාල ප්‍රමාණයේ කොල ලබා දෙන්න. තරමක් මහත පාට කූරු ලබා දෙන්න. තරමක් විශාල White Board එකත් Marker Pen මේකට තවත් විසඳුමක්. ඒ කොහොම වුනත් දරුවන්ට නිදහසේ බිත්ති වල බලි කුරුටු අඳින්න දෙන එකයි වඩාත් වටින්නෙ.

සමහර අම්මල තාත්තලා ගෙදර බිත්ති පුරාම තමන්ගෙ දරුවො ඇඳපු චිත්‍ර, බලි කුරුටු ගෙදරට එන අයට, දරුවන්ගෙ දක්ෂකම් විදියට පෙන්වන්නෙ ගොඩක් ආඩම්බරෙන්, ගොඩක් සතුටින්. ඒ දෙමවුපියෝ කියන්නෙ දරුවො ඇඳපු බලි කුරුටු වැහෙන්න සායම් කරන්න හිතෙන්නෙ නැහැ කියලා. මා හඳුනන පවුලක කාර් රථය තුළ හැමතැනකම පාට කූරු වලින් ඇඳපු චිත්‍ර තියෙනවා. ඒ තාත්තා ඒ ගැන ගොඩක් ආඩම්බරෙන් අනිත් අයට කියන්නෙ. ඒ දරුවොත් ලොකු වුනාම තාත්තා මේ කරන දේ ගැන ගොඩක් ආදරෙන් ගොඩක් ගෞරවයෙන් කතාකරාවි. දරුවො ඇඳපු බලි කුරුටු වැහෙන්න සායම් කරන්න කලින් ඒවගෙ පින්තූර අරන් තියන්න පුළුවන් නම්, දරුවා චිත්‍ර අඳින කොළ දිනය දාලා අරන් තියන්න පුළුවන් නම්, දරුවො ලොකු වුනාම ඒ දේවල් දකිනකොට අම්මා තාත්තා විදියට ඔබ ඔවුන්ට ගොඩක් ආදරේ කළ බව හොඳින්ම වටහා ගන්නා බව අනිවාර්යයි. ඒ වගේම ඔබේ දරුවන් ඔබට ඊටත් වැඩිය ආදරෙන් ගෞරවයෙන් සලකාවි.

සමහර වෙලාවාට දරුවො කුරුටු ගාලා මේ ඇන්දෙ අම්මා මේ තාත්තා කියලා කියනවා. ඒ ඔවුන්ගෙ පුංචි හිතේ ඔබට ඇති ආදරයෙන්. ඒ වගේම ඔවුන් අඳින සෑම දෙයකම මුලින්ම අඩුපාඩු කියමින් බනින්නේ නැතුව දරුවා ගනිමින්, වඩා ගනිමින්, හිත අතගාමින්, නිර්ලෝභීව ඒ දේවල් අගය කිරීමෙන් දරුවා සතුටින්, වඩාත් උනන්දුවෙන් ක්‍රියාකරන බව ඔබටම දැක ගත හැකි වේවි.

මෙතුවක් කල් ඔබ ඔබේ දරුවන් ගැන නොදත්, නොසිතූ කරුණු සමඟ අහිංසක පුංචි පැටවුන්ගේ, රෝස පෙතිවන් මොළකැටි හිත් වටහාගනිමින්, ඔවුන් ආදරයෙන් දිරිමත් කරමින්, දරුවන්ගේ ජීවිත දිනවන්නට ඔබට ආදරණීයව අත්වැල් සපයන්නට අපි ඉදිරි ලිපි වලිනුත් සූදානම්…

X

Pin It on Pinterest

X